Find Us On Facebook

Colombo Stock Exchange is a highly active market in the South Asian region. Investing is Shares is much profitable considered to other investment techniques. "Guide To CSE" is helping you to develop it. කොටස් වෙළඳපළ ආයෝජනයට ප්‍රවේශයක් ලබා දීම මෙම අඩවියේ අරමුණයි.

Sports

දැන්වීමයි!
ඔබ මෙම අඩවියෙන් ලිපි පිටපත් කරන්නේ නම් කරුණාකර අප වෙත දන්වන්නටත්, මෙම අඩවියේ මුල් ලිපියට සබැඳියක් යෙදීමටත් කාරුණික වන්න. කිසිදු මූල්‍යමය කටයුත්තකට මෙහි ලිපි භාවිතා නොකරන්න.

Technology


Wednesday, June 30, 2010

කොළඹ කොටස් නිකුතුවේ ශාඛා වලින් ඇති ප්‍රයෝජන


කොළඹ් කොටස් නිකුතුව තම ශාඛා රට වටා ඇති කිරීම තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල සිටින ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හරහා ආයෝජන දිරිමත් කිරීමයි.
මෙම ශාඛා විවිධ, කොටස් වෙළඳපළ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට ආයෝජකයින්ට සහය ලබා දෙනවා.
  • කොටස් වෙළඳපළට සබඳතාවය
  • තැරැව්කාර සමාගම් වලින් ලබාදෙන සේවාවන් (කොටස් මිලට ගැනීම/විකිණීම, මුදල් ගෙවීම්, වෙනත් දේ)
  • ආයෝජන උපදෙස්
  • ආයෝජන සම්බන්ධ ලේඛන (ගිණුම් ඇරඹීම, මුදල් ලබා ගැනීම/තැන්පත් කිරීම, වෙනත්)
  • සමීක්ෂණ වාර්තා
  • සමාගම් වල වාර්ෂික වාර්තා
  • කොටස් නිකුතුව මගින් පල කරන පොත් පත්
හා තව බොහෝ සේවා මෙම ශාඛා වලින් සිදුවනවා.
මෙම ශාඛා, එම ප්‍රදේශයේ සිටින්නන්ට, කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කර, ලාභ ලබා ගැනීමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා.
මෙම ශාඛා වලින් සිදු කරන තවත් සේවාවක් තමයි, කාලයෙන් කාලයට එම ශාඛාව තුළ/ආයතන/පාසල් තුළ, කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දේශන හා වැඩමුළු සංවිධානය කිරීම, මේවාට සහභාගි වීම තුළින් එම ප්‍රදේශයේ ජනයාට කොටස් වෙළඳපළ ආයෝජනය ගැන ඉගෙනගන්න පුළුවන්.
ලංකාව තුළ මෙහෙම ශාඛා 5ක් තිබෙනවා.
  • මාතර
  • මහ නුවර
  • කුරුණෑගල
  • මීගමුව
  • යාපනය
මාතර ශාඛාව
1999 වර්ෂයේ විවෘත කෙරුනු මෙය, කොළඹ කොටස් නිකුතුවේ පළමු ශාඛාව වෙනවා. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 6ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: දුම්රිය පළ පාර, මාතර.

මහ නුවර ශාඛාව
මෙය දෙවන ශාඛාවයි, විවෘත කළේ 2003 වර්ෂයේ. මෙය තුළ දැනට තැරැව්කාර ආයතන 7ක් ක්‍රියාත්මකයි.
ලිපිනය: CeyBank House, දළදා විදිය.

කුරුණෑගල ශාඛාව
2005 වර්ෂයේ ආරම්භ කෙරුනු මෙය තෙවන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙතුළ ක්‍රියාත්මක වෙනවා.
ලිපිනය: පළමු මහල, Union Assurance Centre, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මීගමුව ශාඛාව
තැරැව්කාර ආයතන 4ක් මෙතුළ ක්‍රියාත්මක වන අතර, මෙම ශාඛාව ඇරඹුනේ 2005 වර්ෂයේදීය. මෙය කොළඹ කොටස් නිකුතුවේ සිව්වන ශාඛාවයි.
ලිපිනය: පළමු මහල, Jude City Building, ග්‍රීන්ස් පාර, මීගමුව.

යාපනය ශාඛාව
මේ වසරේ අප්‍රේල් 27වන දින ඇරඹුනු මෙය, පස්වන ශාඛාවයි. තැරැව්කාර ආයතන 6ක් මෙම ශාඛාව තුළ ක්‍රියාත්මකයි.
ලිපිනය: රෝහල පාර, යාපනය.

මෙන්න මේව තමා, කොළඹ කොටස් නිකුතුවේ ප්‍රාදේශික ශාඛා. ඒ ඒ ප්‍රදේශ වල ඉන්න ජනතාවට, මෙම ශාඛා මගින් කොටස් වෙළඳපළ ආයෝජන කටයුතු වලට අදාල සියළුම දේවල් කරගන්න පුළුවන්. සරළව කිව්වොත් හැම දේම එකම වහලක් යටින් කරගන්න පුළුවන්.


Sunday, June 27, 2010

කොටස් වෙළඳාම් කිරීමේ මූලික කරුණු (Orders)


පරිගණක තාක්ෂණයත් එක්ක online trading පහසුකම් ලැබීම නිසා හුඟක් ආයෝජකයින් දැන් තමුන්ගේ ආයෝජන උපදේශක හරහා යන්නෙ නැතුව තමුන්ම trading කරන්න පටන් අරගෙන තියෙනව. නමුත් එහෙම කරනවා කියල ඔබේ ආයෝජන උපදේශකට කතා කරන එක එහෙම නවත්තන්න එපා, මොකද එයාල හරහා ඔබට පුළුවන් වෙළඳපළ තත්වය ගැන, ඉදිරියට මොනවද වෙන්නෙ, කොයි කොටස් ඉදිරියේදී ඉහළ/පහළ යාවිද කියන වගේ තොරතුරු ලබා ගන්න. කොහොම හරි, ඔබ මිලට ගැනීමක් විකිණීමක් කරනකොට දැන ගන්න ඕනෙ, විවිධාකාරයේ Orders වර්ග තියෙනව. අන්න ඒව ගැන පොඩ්ඩක් කියන්න තමා මේ සැරසෙන්නෙ.

මුලින්ම, ප්‍රධානම Orders වර්ග දෙකයි, Market Order සහ Limit Order.

Market Order එකක් කියල කියන්නෙ, පවතින මිලට, මිලට ගැනීම හෝ විකිණීම සිදු කිරීමයි. මේකට හරියටම නිශ්චිත මිලක් නෑ. නමුත් ක්ෂණිකව Order එක ක්‍රියාත්මක වෙනවා. ඔබ මිලදී ගැනීමක් නම් කරන්නෙ, කොටස් හිමියන් විකිණීමට බලාපොරොත්තුවෙන් සිටින අවම මිලට (Min: Ask) ඔබට කොටස් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඔබ විකිණිමක් කරනව නම් කරන්න වෙන්නෙ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආයෝජකයින් මිලට ගන්න කැමති ඉහළම මිලටයි. (Max Bid)

උදා: අපි හිතමු ඔබට ඕනෙ කියල Dialog වල කොටස් ගන්න. අවසානයට ඒක trade වෙලා තියෙන්නෙ රු.9ට කියමුකො. Order Book එක බැලුවම ඒකෙ හැටියට විකුණන්න කැමැත්තෙන් ඉන්න අයගෙන් අවම මිලකට විකුණන්න ඉන්නෙ රු.9.25ට. ඔබට පුළුවන් ක්ෂණිකව ඒ මිලට එහි කොටස් ගන්න. (ඔන්න එතකොට තව දෙයක් වෙනවා, Dialog හි කොටස් මිල තවත් ශත 25කින් ඉහළ යනවා.) ඔහොමම තමා විකිණිමත්. Dialog කොටස් ටිකක් ඔයා ලඟ තියෙනව. ඔයාට ඒව විකුණන්න ඕනෙ, Order Book එකේ හැටියට මිලට ගන්න කැමති අයගෙන් ඉහළම මිල තියෙන්නෙ රු.8.75ට. ඔබට ක්ෂණිකව ඒ මිලට ඔබේ කොටස් ටික විකුණන්න පුළුවන්. (ඔන්න මෙතනදි Dialog කොටස් මිල ශත 25කින් පහළ යාමකුත් වෙනවා.)

මෙහිදී මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, ඔබ මිලට ගන්න/ විකුණන අගය, අවසානයට trade උනු මිල වෙන්නෙ නෑ හුඟක් වෙලාවට. ඒක වෙනස් වෙන්න පූළුවන්. එහෙම වෙලාවට ඔයාගෙ trade එකත් එක්ක කොටසේ මිලත් උච්ඡාවචනය වේවි. නමුත් සමහර වෙලාවට අවසන් ගනුදෙනුව සිදු වුනු මිල හා ඔබට ගනුදෙනුව කළ හැකි මිල සමානත් වෙනවා.

බලා ඉන්නෙ නැතුව මිලට ගැනීම්/ විකිණීම් කරන්න කැමති ආයෝජකයින් අතර Market Orders ජනප්‍රියයි. හැබැයි මුලින් කිව්ව වගේ ඒකට හරි මිලක් නෑ. වෙලාවෙන් වෙලාව ඒක වෙනස් වෙනවා. (එතරම් ද්‍රවශීලීතාවයක් නැති කොටස් වල නම් එතරම්ම වේගවත්ව වෙනස් වෙන එකක් නෑ.)

Limit Order එකක් කියල කියන්නෙ, ආයෝජකයා නියම කරන මිලක් සහිත Order එකක්. යම් සමාගමක කොටස් ඔබට ඕනෙ නම් යම් මිලකට ගන්න, ඔබ මේ වර්ගයේ order එකක් තමා දාන්න ඕනෙ.

උදා: ඉහත උදාහරණයම ගමුකෝ, ඔයා කැමති නෑ 8.75ට විකුණන්න, ඔයාට ඕනෙ තව ලාභ ලබන්න. අපි හිතමුකො ඔයාට ඒ ටික විකුණන්න ඕනෙ රු.10ට. ඉතින් ඔයාට පුළුවන් ඒ කොටස් ටික රු.10 බැගින් විකුණන්න Sell Order එක් දාන්න. කොයි වෙලේ හරි රු.10ට කොටස් මිල ඉහළ නැග්ගොත් (ඒ කියන්නෙ ඒ මිලට කොටස් මිලට ගන්න කෙනෙක් ලෑස්ති උනොත්) ඔයාගෙ කොටස් ටිකත් විකිණෙනව. අනිත් පැත්තත් එහෙමමයි. ඔබට ඕනෙ නම් රු.8ට කොටස් මිලට ගන්න, ඔබ රු.8කට Buy Order එකක් දාන්න ඕනෙ. කොයි වෙලේ හරි කොටස් මිල ඒ ගාණට බැස්සොත් (වෙන විදිහකින් කිව්වොත්, ඒ මිලට විකුණන්න කෙනෙක් ලෑස්ති නම්) ඔබට කොටස් ටික මිලට ගන්න පුළුවන් රු.8 බැගින්.

සැළකිළිමත් විය යුතු දෙයක්
Limit Oders දානකොට තමුන්ගෙ ලාභය ගණං හදල විකිණිය යුතු මිල තීරණය කරන්න. ඒකට තැරැව්කාර ගාස්තුත් අයත් වෙනවා. ඒ නිසා ලාභයෙන් කොටසක් වියදම් වෙනවා එම ගාස්තු වශයෙන්. ඉතින් අලාභයක් නොවෙන්න මිලට ගත යුතු/ විකිණිය යුතු මිල තීරණය කරන්න.

අනෙකුත් වර්ග වල Orders
මේව අර ඉහත කියපු Orders වර්ග වල අනු කොටස් වගේ කියල හිතන්නකො.

Normal Lots
අපි හැම වෙලේම කරන orders මේ ගණයට තමා වැටෙන්නෙ. මේකෙ විශේෂයක් නෑ. අපිටම පුළුවන් මිල තීරණය කරන්න, ගනුදෙනුව සිදුවිය යුතු අවම කොටස් ගාණ තීරණය කරන්න, ඕඩර් එක බල පවතින දින ගාණ තීරණය කරන්න.....

Odd Lots
මේකෙ ටිකක් විශේෂයක් තියෙනව. සාමාන්‍යයෙන් කොටස් වෙළඳපළ තූළ කොටස් අලෙවි වන්නේ 100යේ ගුණාකාර වලින්. නමුත් ඔබට ඕනෙ නම් කොටස් 100ට වඩා අඩු ගණනක් මිලට ගන්න/ විකුණන්න, ඔබ එය කල යුත්තේ Odd Market එකේදි. එහි අලෙවි වන්නේ 100ට අඩු කොටස් ප්‍රමාණ. වැදගත් දෙයක් තිබෙනව, සාමාන්‍ය වෙළඳපළෙහි කොටස් වල මිල, ඒවාට බලපවතින සාධක මෙම කොටස් වලට බලපාන්නෙ නම් නෑ. ඉතින් මෙහි ඇති යම් කොටසක මිල, සාමාන්‍ය වෙළඳපළේ එන කොටසේ මිලට වඩා හැම වෙලේම වෙනස්.

AON Lots
මේකත් සාමාන්‍ය කොටස් වෙළඳාම් ක්‍රමයම තමා, වෙනස තියෙන්නෙ මෙහිදී කොටස් වෙළඳාම් වෙන්නෙ 100 ගුණාකාර වලින් නෙමෙයි, ඔබ විකුණන්න/මිලට ගන්න බලාපොරොත්තු වෙන කොටස් ප්‍රමාණයට අනුවයි.

උදා: ඔබට ඕනෙ නම් Cargilles වල කොටස් 1000ක් මිලට ගන්න, විකුණන්න ඉන්න කට්ටිය විකුණන්න බලා ඉන්නෙ 500, 300, 800, 1500 වශයෙන් කියල කියමුකො. එතකොට ඔයාට ඕනෙ කොටස් ගාණ දෙන්න පුළුවන් 4 වෙනි කෙනාටනෙ, ඉතින් ඊට උඩින් තිබෙන කොටස් 1600ම විකිණෙනකම් ඔයාගෙ Order එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නමුත් ඔයා මේක Normal Market එකේ කළා නම් ඔයාට කොටස් 1000 ලැබෙනව පළමු වැන්නාගෙන් 500, දෙවැන්නාගෙන් 300 හා තෙවැන්නාගෙන් 200ක් වශයෙන්.

මේ තුන් වර්ගය, ඔබ cdax එහෙම පාවිච්චි කරනවා නම් දැකල ඇති.

ඊළඟට කතා කරමු මේ කිව්ව ඒව යටතට පත් වෙන තවත් ආකාර කිහිපයක Orders කිහිපයක් ගැන. ඉහතින් කිව්ව orders වෙනස් උනේ කොටස් ප්‍රමාණය අනුවනෙ. මේ පහත කියන ඒව වෙනස් වෙන්නෙ එම order එක බලපවත්වන දින ගණන අනුව. cdax වල ඉඳන් order dialog box එක ඕපන් කලාම දින ගණන තීරණය කරන option එක ගැන තමා මේ කියන්නෙ.

Day
Order එක ඉකුත්වන කලයක් ඔබ දෙන්නෙ නැත්නම් ඕඩර් එක ඉබේම Day Order එකක් විදිහට තමා වැටෙන්නෙ. ඒ කියන්නෙ ඒ Trading Day එක අවසානය වනතෙක්ම එම order එක ක්‍රියාත්මක උනේ නැත්නම් (fill උනේ නැත්නම්) එය එදිනට වෙළඳපළ ගනුදෙනු නතර කරන අවස්ථාවේම අවලංගු වෙනවා. ආපහු ඒක ක්‍රියාත්මක කරවන්න ඕනෙ නම් ආපහු order එක දාන්න ඕනෙ.

GTC (Good Till Cancel)
මේ වර්ගයේ ඕඩර් එකක් ඔබ අවලංගු කරන තෙක් හෝ එය ක්‍රියාත්මක වන තෙක් (fill වන තෙක්), වෙළඳපළ තුළ order එකක් වලංගුව පවතින සම්පූර්ණ කාලයම පවතිනවා. කොළඹ කොටස් වෙළඳපළට නම් එය උපරිම trading days 5ක කාලයක්.

GTD (Good Till Day)
මේකත් GTC වගේම තමා, නමුත් ඔබට පුළුවන් ඕඩර් එක වලංගුව පවතින කාලය තීරණය කරන්න, දින 1 සිට 5 දක්වා.

මේ දේවල් ටික දැනගෙන සිටීම, හරි විදිහකට කොටස් මිලට ගන්න, විකුණන්න උදව් වෙනවා. අනිත් එක මේක අයෝජකයාට ලොකු පහසුකමක්ශුඟක් අයට මාකට් එක දිහා හැම වෙලේම බලා ඉන්න බෑනෙ. ඉතින් ඔබට පුළුවන්, Buy orders, sell orders දින කිහිපයකට දාල තියන්න. ඒක හරියට trading automate කරල වගෙයි.

මේකෙන් ඔයාලගෙ කාලය, මුදල් ඉතිරි කරනවා වගේම, අවදානමත් අඩු කරනවා.


Friday, June 25, 2010

CSE Workshop - Jaffna


There will be a Workshop on Stock market investment to beginners in the Jaffna area. People who are interested in Stock market investment, participate and get the knowledge.


CSE Workshop for Beginners


A four part workshop for beginners on "Investing in Stock Market"


The Colombo Stock Exchange presents a four-part workshop series for beginners in association with the CFA Sri Lanka and the Daily Mirror. The programme is designed to cover the basics of Stock Market Investing.


Programme
08th of July 2010  - Getting the basics right
15th of July 2010  - The benefits of Stock Market Investing 
22nd of July 2010 - Making the right investment decision
29th of July 2010  - How to start trading


Venue : Banquet Hall (Park Premier) - Excel World, Colombo 10
Time : Commencing at 5.45 pm
Investment : Rs. 3000/= (all inclusive)


Please call on 0115522444 or 0112356512 for further details and registration.
Registration closes on 6th July 2010.


Saturday, June 19, 2010

ඔබ ආයෝජනය කරන්නේ ඇයි?


කවුරුහරි මේ ප්‍රශ්නෙ ඔබෙන් ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් තියෙනවද?
ඔබට මේ ප්‍රශ්නෙට විවිධ උත්තර තියෙන්න පුළුවන්, ඒකට කමක් නෑ, හැබැයි උත්තරයක් නැති උනොත් නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි. ආයෝජනය කරනව කියන්නෙත් හරියට වාහනයක් එලවනවා වගේ වැඩක්. ඔබට යම් ඉලක්කයක් තියෙන්න ඕනෙ, ඒ අතරම ඇස් දෙක ඇරගෙන එලවන්න ඕනෙ.
ආයෝජනය සඳහා පැහැදිලි අරමුණක්, හේතුවක් තිබීම, සාර්ථක ආයෝජනයකට අත්‍යවශ්‍යයි. හරියට ඔබ ඇඟ බස්සගන්න/හදාගන්න gym එකට යනවා වගේ. ඔබ හරි ඉලක්කයක් කරා වැඩ කරන්නෙ නැත්තම්, ඔබ ඔබගේ ක්‍රියාකාරකම් හා දියුණුව ගැන පරික්ෂාවෙන් ඉන්නෙ නැත්තම්, ආයෝජනය කියන එක අමාරු වෙන්න ඉඩ තියෙනව, අනතුරුදායක වෙන්නත් ඉඩ තියෙනව.

මෙම ලිපියෙන් අපි බලමු, සාමාන්‍යයෙන් කෙනෙක් ආයෝජනයක් කරන්න හේතු මොනවද කියල. ඒ එක්කම ඒ ඒ හේතු වලට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියෙනව.

විශ්‍රාම දිවියට අත්වැලක් සපයා ගැනීම

කවුරුවත් දන්නෙ නෑ මේ විශ්‍රාම වැටුප් කවද නවත්තයිද කියල. පෞද්ගලික සේවකයින්ට නම් එහෙම එකක් ඇත්තෙත් නෑ නෙ. ආර්ථික උද්ධමනය හා මේ වගේ දේවල් තමා හේතු වෙන්නෙ කෙනෙක් තමුන්ගෙ අනාගතය, තමුන්ගෙ විශ්‍රාම දිවිය ගතකරන්නෙ කොහොමද කියල සැලසුම් කරන්න. කාලෙන් කාලෙට එක එක බදු එකතු වෙනව, ඒව ගැනත් හිතන්න ඕනෙ. මෙහෙම දේවල් එක්ක බැලුවම, ආයෝජනයක් කිරීම කියන්නෙ ඔබගේ විශ්‍රාම දිවිය කරදරයක් නැතුව ගත කරන්න හොඳ විසඳුමක්. මේක ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් ගැන කතා කරන්න වෙනව.
අදයි ඔබ විශ්‍රාම යන දිනයයි අතර කාලය බැලුවම තියෙන කාලය වැඩි නම් ඔබගේ මුදල් වර්ධනය වෙන්න තියෙන කාලයත් වැඩියි. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි ඔබට උද්ධමනය එක්ක තරඟ කරන්නත් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත්, ඔබට උද්ධමනය පරද්දල ඉස්සරහට යන්න බැරි උනොත් ඔබේ මුදල් එතරම් වටිනාකමක් දරන එකක් නෑ. ඔබ ආයෝජනය අරඹන එක පසු කරන්න පසු කරන්න ඔබ ලක් වෙන අවදානම වැඩි වෙනවා. එතකොට ඔබට යන්න වෙන්නෙ ඒකක භාර, සුරැකුම් පත්, ණයකර වගේ අවදානම අඩු ආයෝජන ක්‍රම වලට. හැබැයි ඒවයින් ලැබෙන ලාභයත් අඩුයි. අනිත් පැත්ත බැලුවම, ඔබ තරුණ කාලෙම ආයෝජනයන් ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉහළ අවදානම් වලට යන්න. ඒ කියන්නෙ ලැබෙන ලාභයත් වැඩියි කියන එකනෙ. ඔබ ආයෝජනය ගැන ඉගෙන ගන්න ඉක්මනින් පටන් ගත්තොත් ඔබට වඩා පහසු වෙනව ඒව හොඳින් හදාරල තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයින්ගෙ උදව් ගන්න එක නම් කරදර වගේම වියදම් අධික කටයුත්තක්. ඒක නිසා පහසුම හා හොඳම දේ තමයි තමුන්ගෙ වැඩ ටික තමුන්ම කරගන්න එක.
විශ්‍රාම දිවිය සඳහා ආයෝජනයත් හරියට දිගු කාලීන ආයෝජනයක් වගෙයි. ඔබ ආයෝජනය කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙ වඩා හොඳ ගැළපෙන කොටස් ටිකක් මිලට අරගෙන තියාගෙන ඉන්නයි. ඔබගේ විශ්‍රාම ආයෝජන කළඹ, විවිධ කොටස් වල මිශ්‍රණයක්, ණයකර, හා අනෙකුත් ආකාර වල ආයෝජන වලත් එකතුවක් විය යුතුයි. මෙම මිශ්‍රණය ටික ටික වෙනස් වේවි, ඔබ ටික ටික ඔබ මහළු වන විට ඒ ආයෝජන වල අවදානමත් ටික ටික අඩු වෙනවා.

ආර්ථික ඉලක්ක සපුරා ගැනීම

ඔබට හැම වෙලේම දිගුකාලීනව හිතන්න ඕනෙ නෑ. ආයෝජනයක් කියන්නෙ ඔබගේ අනාගත ආර්ථික මට්ටම වගේම වර්තමාන ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමටත් ඉතාම සුදුසු ක්‍රමයක්. ඔබට ඕනෙද ලබන වසරේ වාහනයක් ගන්න? නැත්තම් හොඳ ගෙයක් මිලට ගන්න? මේ හරහා ඔබට පුළුවන් ඒ ඉලක්කයන්ට ලං වෙන්න.
ඔබගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට ආයෝජනයන් සහය කරගන්න පුළුවන්. ඔබගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඉහළ නංවා ගන්නත් මේක හොඳ මාර්ගයක්. ආයෝජකයාගේ ඉලක්කය අනුව ආයෝජනයන් වෙනස් වෙන නිසා මේක විශ්‍රාම දිවියක් ගත කරන්න කරන ආයෝජනයකට වඩා වෙනස් වෙනවා.
මෙම ඉලක්කයට ගමන් කරන ආයෝජකයා කෙටි කාලීන හා දිගු කලීන දෙවර්ගයේම ආයෝජන වලට යොමු වෙන්න ඕනෙ. මම අර කිව්ව වගේ ලොකු දෙයක් කරගන්න ඕනෙ නම් දිගුකාලීන ආයෝජනයන්ට යන්න ඕනෙ, පොඩි දෙයක් නම් කරගන්න ඕනෙ, (අපි හිතමු පරිගණකයක් ගන්නව වගේ දෙයක්) එතකොට කෙටිකාලීන ආයෝජන හරහා ඒ ඉලක්කයට යන්න පුළුවන්.
මෙතනදි දෙන්න ඕනෙ අවවාදය තමයි ඔබගේ ඉලක්කයන් හරි හැටි හඳුනා ගන්න එක. ඔබ ආයෝජනයකින් බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්දෙ නිවාඩුවට පිටරටකට යන්න නම්, මුලින්ම පොඩ්ඩක් පැත්තකට වෙල ඉඳගෙන ඔබට යන වියදම් ටික බලන්න, ඊලඟට බලන්න මොන ආකාරයක ආයෝජන උපාය මාර්ගයකින්ද ඒ වියදම් වලට අවශ්‍ය මුදල් ලබාගන්න පුළුවන් කියල. ඔබට ඉලක්කයක් නැති නම් එම ආයෝජනයට වියදම් කරන මුදල් වලින් වෙනත් ප්‍රයෝජනය ගන්න පුළුවන්නෙ ආයෝජනය නොකර. (අළුත් අවුරුද්දට තෑගි අරන් දෙන්න වගේ)
ආර්ථික ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාම අභියෝගාත්මක හා ක්‍රියාශීලී දෙයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන්නෙ සීමා සහිත කාලයක්. ඔබට ඔබේ ඉලක්කය කරා හැකි ඉක්මනින් යන්න ඕනෙ. ඔබ හුඟක් ලොකු මුදලක් ආයෝජනය කරන්නෙ නෑ, නමුත් ඔබ ආයෝජනය කරන මුදල මත අවදානමකුත් තිබෙනව. නමුත් අන්තිමේදි ඔබට හොඳ ගාණකුත් අතට ලැබෙනව.

ආයෝජනය නොකිරීමට හේතු

ආයෝජනය කරන්න අපි හේතු 2ක් කතා කළා. ඒ වගේම ආයෝජනය නොකරන්නත් හේතු 2ක් තිබෙනව. ණය තුරුස් හා දැනුම නොමැතිකම.
පලමු වැන්න ගැන හිතුවොත්, උදාහරණයක් ගමුකො. ඔබ රු.100,000ක ණයක් ගන්නව, 9%ක පොළියට. ඔබට ලැබෙනව තවත් රු.100,000ක්. ඔබ ඒක භාවිතා කරන්නෙ මොකටද? ආයෝජනය කරනවද, නැතිනම් ණය පොළිය ගෙවනවද? උත්තරය සරළයි, ඔබ අනිවාර්යයෙන්ම කරන්නෙ ණය ගෙවන එක. ඔබ ඒක ආයෝජනය කරනව නම් අනිවාර්යයෙන්ම 9%කට වඩා ලාභයක් ඔබේ ආයෝජනයෙන් ඔබ ලැබිය යුතුයි, ඒක ප්‍රයෝජනවත් වෙන්න.

දෙවන්න ගත්තොත්, දැනුම නැති එක. කතාවක් තියෙනවනෙ "දෙවියන් පය තියන්න බය තැන් වලට මෝඩයෝ පැනගෙන යනව" කියල. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔබ ආයෝජනය කරන්න පටන් ගත්තොත් ඒක විනාශයට මුල. ඔබගේ මුදල් ටික ඔක්කොම නැති වෙලා යාවි. ඔබ කවදාවත් gym එකට ගිහිල්ල, ඒකෙ තියෙන ලොකුම බර එකපාරම උස්සන්න යන්නෙ නෑ නෙ. එහෙම කළොත් වෙන්නෙ අතපය කඩා ගන්න තමයි. ටික ටික තමා උස්සන බර ප්‍රමාණය වැඩි කරන්න ඕනෙ. එහෙමම තමා ආයෝජනය කියන එකත්. ටික ටික ඉගෙන ගෙන ටික ටික ආයෝජනයන් වර්ධනය කරගන්න ඕනෙ.

අවසන් නිගමනය

මේ කිව්ව ටිකෙන් එන්න පුළුවන් අවසන් නිගමයන මෙන්න මේකයි.,
ඔබ ආයෝජනයක් අරඹනව නම් ඒකට හේතුව වෙන්නෙ ඔබගේ ජීවිතය සම්බන්ධ වෙනස්වීම්. ඒක ඉතාම වැදගත් දෙයක්. අනිත් පැත්ත තමයි කිසිම හේතුවක් නැතුව ආයෝජනය කිරීම, හැබැයි ඒකෙන් වෙන්නෙ ඔබගේ ක්‍රියාකාරකම් හරහා අවසානයේදී ඔබට පාඩු සිදුවෙලා දුක් වෙන්න වෙන එකයි. ඔබගේ ඉලක්කයන් කාලයෙන් කාලයට බලල ඒවට හේතු වෙනස් වෙද්දි ඒ ඉලක්කයනුත් ටික ටික වෙනස් කරගන්න ඕනෙ. කාලයෙන් කාලයට මේ ආයෝජනයට හේතුව මතක් කරල, ඔබ ඒ වෙනුවෙන් කොතරම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවද කියලත් බලන්න.
ආයෝජනය කරන්න කරන්න, ආයෝජනය කරන එක ලේසි වෙනව.

එහෙනම් වාසනාවන්ත ආයෝජනයකට සුභ පැතුම්!!!


Thursday, June 17, 2010

කොටස් වෙළඳපළ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන


මෙන්න තවත් කොටස් වෙළඳපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගැන ආරංචියක්. මෙම වැඩසටහන සංවිධානය කරල තියෙන්නෙ කොටස් වෙළඳපළ මීගමුව ශාඛාවෙන්.


2010 ජුනි 23 ප.ව. 5.00 - "කොටස් වෙළඳපළ ආයෝජනයට පදනමක්"
2010 ජුනි 30 ප.ව. 5.00 - "කොටස් ආයෝජනයේ ප්‍රථිලාභ හා බනුදෙනු ආරම්භය"
2010 ජුලි 07 ප.ව. 5.00 - "කොටස් ඇගයීම හා තෝරා ගැනීම"


ඔන්න ඔහොමයි මේ වැඩමුළුවෙ කාලසටහන. සියළුම දේශන තිබෙන්නෙ කොටස් වෙළඳපළ මීගමුව ශාඛාවේදී.
සම්පූර්න වැඩමුළුවට ගාස්තුව රු.300ක් පමණයි.
තව වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් හා ලියාපදිංචි වෙන්න 031-2227859/61 දුරකථන අංකයට අමතන්න. නැතිනම් priyantha@cse.lk කියන ඊ මේල් ලිපිනයට ලිපියක් යවන්න.


ආසන ගණන සීමිතයි, ඉක්මනටම ලියාපදිංචි වෙන්න. මුලින් එන අයට ප්‍රමුඛතාවය පිරිනැමෙනව.


ලිපිනය: කොටස් වෙළඳපළ මීගමුව ශාඛාව, අංක:142, ග්‍රීන්ස් පාර, මීගමුව.


EAVB_BUUEMJWOJS


Friday, June 11, 2010

කොටස් වෙළඳපළ ආයෝජනයට අධ්‍යාපනික මඟ පෙන්වීමක්


මේක නම් ආයෝජන වැඩමුළුවක් නම් නෙමෙයි කෙලින්ම පාඨමාලාවක් ගැනයි.

වැඩසටහනේ අරමුණ:
කොටස් වෙළඳපළ ආයෝජනයට යොමු වීමට බලාපොරොත්තු වන නවක ආයෝජකයින් හට සහ දැනටමත් කොටස් වෙළඳපළ ආයෝජනයේ යෙදෙන්නන් හට ආයෝජනය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීම තුළින් සාර්ථක ආයෝජන පසුබිමක් නිර්මාණය කිරීම.

අන්තර්ගතය:
  • ආයෝජනයේ පදනම
  • තොරතුරු ලබා ගැනීම
  • මූල්‍ය සැලසුම්කරණය
  • ගනු දෙනු ඇරඹිම
  • කොළඹ කොටස් වෙළඳපළ
  • ආයෝජන උපදේශක සමාගම්
  • ආයෝජනයේ ප්‍රතිලාභ
  • ඒකක භාර ආයෝජනය
  • මූල්‍ය වාර්තා විශ්ලේෂණය
  • ආයෝජන සුරක්ෂිතභාවය
  • නිවැරදි ආයෝජන තීරණ ගැනීම
  • ආයෝජනයේදී සිදුවන සාමාන්‍ය වැරදි

ආරම්භය : ජුලි 3, සෙනසුරාදා. පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
පාඨමාලා කාල සීමාව: සති 8 යි.
ස්ථානය : පුහුණු මධ්‍යස්ථානය (Skill Center), විජී වීරසිංහ අනුස්මරණ ශාලාව, රාජකීය විද්‍යාලය, කොළඹ 7.
මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තුව: රු. 5800 (සියළු බදු සහිතයි)

වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා, 011-5522444 හෝ 011-2356520 අමතන්න.
සීමිත ආසන සංඛ්‍යාවකි.

මෙම වැඩසටහන සංවිධානය කරන්නේ, මූල්‍ය සේවා විද්‍යායතනය, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව එකතුවයි.
ඉතින් ඔයාලත් මෙම පාඨමාලාව සඳහා උනන්දුවක් තියෙනව නම් ඉක්මන් කරල ඔයාලගෙ ආසනය වෙන් කරගන්න. සුභ පතනව.


Wednesday, June 9, 2010

කොටස් වෙළඳපළ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන


ඔන්න තවත්, කොටස් වෙළඳපළ ගැන ප්‍රාදේශීය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගැනයි මේ ආරංචිය.
මේක පැවැත්වෙන්නේ කොටස් වෙළඳපළ කුරුණෑගල ශාඛාවේදී.

දිනය: 2010 ජුනි මස 22 වන දින
වේලාව: උදේ 9.30 හා පස්වරු 1.30 (එකම වැඩසටහන දෙවරක් පැවැත්වෙන අතර ඔබට පහසු වේලාවක වැඩසටහනට සහභාගි වීමට ඔබට හැකියාව ඇත.)

වැදගත්ම දේ තමා මෙම වැඩසටහන් සම්පූර්ණයෙන්ම නොමිලේ තමා පැවැත්වෙන්නේ.
වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් 0374691804/02 කියන දුරකතන අංක වලට අමතන්න.

ලිපිනය : අඔක 06, රජපිහිල්ල පාර, කුරුණෑගල.


Saturday, June 5, 2010

කොළඹ කොටස් වෙළදපළ හා වෙනත් ලෝක වෙළඳපළ අතර සංසන්දනයක්


ලෝකය වටා එක එක ප්‍රදේශ වල විවිධ ප්‍රමාණ වල කොටස් වෙළඳපළවල් රැසක් තිබෙනව කොටස් ගනු දෙනු කරන. සමහර ඒව නම් හුඟක්ම ලොකු ඒව, උදාහරණ විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් නිකුතුව, නිව්යෝක් කොටස් නිකුතුව, ජපන් කොටස් වෙලඳපළ, හොංකොං හා ඉන්දියාවේ තිබෙන කොටස් වෙළඳපළ කිහිපයකුත් සඳහන් කරන්න පුළුවනි. කුඩා ප්‍රමාණයේ කොටස් නිකුතුවක් වන කොළඹ කොටස් නිකුතුව, එහි ආයෝජකයින්ට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන වෙළඳපළක් බවට පත්වී තිබෙනව. ඉතින් මේ කොටස් නිකුතු අතර පොඩි සංසන්දනයක් කරන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය සඳහා සහය වුනු චමිල් ජයවීර මහතාට මගේ ප්‍රණාමය.

පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ තත්වය පරික්ෂා කරල බැලුවොත් හඳුනා ගන්න පුළුවන් දෙයක් තමා, වෙනත් ලෝක වෙළඳපළවල් මුහුණ දුන්නු ආකාරයේ විශාල පහළ බැසීම්, පසුබෑම් වලට කොළඹ කොටස් වෙළඳපළ මුහුණ දීල නෑ කියන එක. සියළු කොටස් මිල දර්ශකය වගේ, කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය පෙන්වන දර්ශක පරික්ෂා කරල බැලුවොත් පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් තමයි, කොළඹ කොටස් වෙළඳපළ පසුගිය කාලය තුළදී ස්ථායී වර්ධනයක් හිමි කරගෙන තියෙනව කියන එක.
මාසයක් පමණ පස්සට ගියොත්, ඒ කාලෙ ඉඳල තාමත් වගේ කොළඹ කොටස් වෙළඳපළ මුළු කාලය තුළම හිමිකරගෙන තියෙන ඉහළම අගයක් හිමිකරගෙන තියෙනව (All time high). මීට පෙර මම කොළඹ කොටස් වෙළඳපළ තත්වය ගැන ලිව්ව ලිපියක සඳහන් කළා, මතක නම්, පසුගිය වසර තුළ විතරක් කොළඹ කොටස් වෙළඳපළ 126% වර්ධනයක් හිමි කරගෙන තිබෙනව. මේක වෙන කිසිදු කොටස් නිකුතුවක් ලබා නොගත්තු තරම් ඉහළ අගයක්. තමුන්ගෙ ආයෝජන වල ඉහළ වර්ධනයක් බලා සිටින ආයෝජකයින්ට නම් මේ ආකාරයේ වර්ධනයක් ඕනෑම් වෙළඳපළක දැකීම ඉතාම සතුටට කාරණයක් වේවි.
අනෙකුත් කොටස් වෙළඳපළවලුත් වසරකට පෙර තිබූ තත්වයට වඩා වර්ධනයක් පෙන්නුම් කළත් වර්ධන වේගය නම් සාපේක්ෂව ඉතාම පහළ අගයක තමා තිබෙන්නෙ. ඒ වගේම ඒවායෙ බොහෝ අවස්ථා තිබුන, එක් දිනක ඉහළ යන වෙළඳපළ ඉන් පසු දින ඉතාම පහළ අගයකට වැටීම. ඒක වෙන්නෙ බොහෝ විට, ඒ ඒ රටවල් වල තිබෙන විශාල සමාගම්වල හා/හෝ එම රටේ රජය විසින් මූල්‍ය වාර්ථා ප්‍රසිද්ධ කිරීම්වත් සමඟ තමා.
උදාහරණයක් විදිහට, ජපන් කොටස් නිකුතුව ගනිමු, ඔවුන්ගේ ප්‍රධාන දර්ශකය විදිහට ගැනෙන්නෙ Nikkei කියන දර්ශකය. පසු ගිය වසර තුළ එය 15% වර්ධනයක් පමණයි දැක්වුවේ. ඇමරිකානු කොටස් වෙළඳපළ 26%කට වඩා වැඩි වර්ධනයක් පෙන්වල නෑ. හොංකොං සහ ඉන්දීය කොටස් නිකුතු පසුගිය වසර තුළ පිළිවෙලින් 28% ක හා 55%ක වර්ධනයන් දක්වා තිබෙන්නෙ. බොහොමයක් ආර්ථික විශ්ලේෂකයින්ට නම් මේව ඉතාම ඉහළ වර්ධනයන්, නමුත් කියන්න ඕනෙ දේ තමා, මේ හැම කොටස් වෙළදපළකටම සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉදිරියෙන් සිටිනව.
ලෝකයේ තිබෙන වෙනත් කොටස් නිකුතු වලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපළ තුළ හුවමාරු වෙන්නෙ ඉතාම කුඩා ‍ගණනක කොටස් ප්‍රමාණයක්. නමුත් කියන්න ඕනෙ දේ තමා, ඒ ලොකු ලොකු කොටස් නිකුතු වල ආයෝජකයින් ලබන ලාභයට සාපේක්ෂව ඉහළ ලාභයක්, කොළඹ කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් ලබා ගන්නව.
කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය අනිවාර්යයෙන්ම යම් අධ්‍යයනයකින් පසුවයි කළ යුතු වෙන්නෙ. සියළුම දෙනා අනාවැකි පවසන්නේ දැනට පවතින වර්ධනය තව ඉදිරියටත් පවතී කියලයි. කොළඹ කොටස් වෙළඳපළ තුළ තිබෙන බොහොමයක් කොටස්, වෙනත් විශාල කොටස් වෙළඳපළ කොටස් වලට සිදුවන ආකාරයේ බලපෑම් නිසා මිල පහත බැසීමක් සිදු නොවෙන ඒව. ඒ කියන්නෙ යම් ස්ථායී අගයක් හිමිකරගන්න පුළුවන් ඒව. ඒ නිසා කොළඹ කොටස් වෙළඳපළ එක්තරා ආකාරයකින් වඩා ආරක්ෂිත කොටස් වෙළඳපළක් කියල කිව්වොත් නිවැරදියි. ඒ එක්කම ඉහළ ප්‍රථිලාභයකුත් ලබා දෙන්න පුළුවන් කොටස් වෙළඳ පළක් කියලත් කියන්න පුළුවන්.


Wednesday, June 2, 2010

කොටස් වෙළඳපළදී භාවිත වන විශේෂ වදන්


කොටස් වෙළඳපළ එක්ක වැඩ කරනකොට, කොටස් වෙළඳපළ මගින් හා තැරැව්කරුවන් භාවිතා කරන විශේෂ වචන සෙට් එකක් තියෙනවනෙ, ඒව සමහරුන්ට නම් ග්‍රීක් වගෙයි. ඉතින් ඒව ගැන ටිකක් දැනන් ඉන්න එක ඇඟටත් හොඳයි වගේම ඒවයින් ප්‍රයෝජනත් තියෙනව. ඒකෙන් ඔයාලගෙ ආයෝජන සම්බන්ධයෙනුත් වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි.


Market Capitalization 
මේකෙන් කියන්නෙ, කොටස් වෙළඳපළ තුළ තිබෙන සියළුම සමාගම් වල සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වල මුළු වටිනාකමයි. 
මේක මුළු වෙළඳපළටමත්, ඒ ඒ මිල දර්ශක වශයෙනුත්, සමාගම් වශයෙනුත් ගණනය කෙරෙනවා. මේක භාවිතා කරන්නෙ කොටස් වෙළඳපළ තුළ වටිනාකම ගණනය කිරීමටයි. 
Market Capitalization ගණනය කරන්නේ වෙළඳපළ තුළ ඇති කොටස් ගණන වෙළඳපළ තුළ එම කොටසේ මිලෙන් ගුණ කිරීම මගිනුයි.
උදා: XYZ සමාගමේ කොටස් 100,000ක් වෙළඳපළ තුළ තියෙනව නම් හා එකක මිල රු.20ක් නම් එම සමාගමේ market capitalization එක රු.2,000,000 ක් වෙනවා.
මේක එම සමාගමේ වටිනාකම පිළිබඳ පෙන්නුම් කරන සාධකයක් උනත් මේක තාවකාලික අගයක් පමණයි, මොකද කොටසක මිල වෙනස් වීම අනුව මෙහි අගයත් වෙනස් වන නිසා. 
එම සමාගමේ නිවැරදි වටිනාකම (ඒ කියන්නෙ සියළුම දේපල හා වත්කම් වල වටිනාකම) මේකෙන් පෙන්නන්නෙ නෑ, ඒව දැන ගන්න නම් එයාලගෙ Annual Report එකක් අරගෙන බලන්න.


කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය ගැන හැඟීමක් ගන්න භාවිතා කරන දර්ශක (Indices)
කොළඹ කොටස් වෙළඳපළ විසින් මෙහෙම ප්‍රධාන දර්ශක 2ක් යොදා ගන්නව, වෙළඳපළ ක්‍රියාකාරිත්වය දැනගන්න. ඒ තමා සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index: ASPI) හා මිලන්කා මිල දර්ශකය (Milanka Price Incex: MPI)
ඊට අමතරව අංශ වශයෙන් දර්ශක 20ක් (Sector Indices), සියළු ප්‍රතිලාභ දර්ශක 2ක් (Total Return Indexes), හා අංශ වශයෙන් සියළු ප්‍රතිලාභ දර්ශක 20ක් (Total Return indices by sector) ක් තිබෙනව.
මෙම දර්ශක යොදා ගන්න පුළුවන්, වෙළඳපළ ක්‍රියාකාරිත්වය හිතා ගන්නත්, ඉදිරි ක්‍රියාකාරිත්වය අනුමාන කරන්නත්, හා ලාභ කොයි වගේ වෙයිද කියල ගණනය කරන්නත්.


සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index: ASPI)
මෙය යොදා ගන්නෙ මුළු වෙළඳපළම ක්‍රියාකාරිත්වය ගැන කියන්න. සියළුම සමාගම් වල කොටස් වල ක්‍රියාකාරිත්වය අනුව මෙය වෙනස් වෙනවා. මේකට මූලික වෙන්නෙත් අර මුලින් කිව්ව market capitalization එකම තමා. ඒ ඒ සමාගම් වල capitalization එක අරගෙන, වෙළඳපළ තුළ ඇති කොටස් ප්‍රමාණයන්ට අනුව භරිත මධ්‍යනය අරගෙන තමා මේක ගණනය කරන්නෙ.
මෙම දර්ශකය 1985 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.


මිලන්කා මිල දර්ශකය (Milanka Price Index: MPI)
මෙය යොදා ගන්නේ, තෝරාගත් සමාගම් 25ක ක්‍රියාකාරිතවය බලන්නයි. මෙම සමාගම් 25 තෝරාගන්නේ, ඊට පෙර වසර දෙක තුළ සමාගම් වල කොටස් වල ද්‍රවශීලීතාවය (Liquidity) හා Market Capitalization එක අනුවයි. සරළව කිව්වොත් පසුගිය වසර දෙක තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දක්වපු සමාගම් 25 අරගෙන තමා මේ දර්ශකය ගණනය කරන්නෙ.
වසර දෙකකට සැරයක් මේක අළුත් කරනවා. මෙම දර්ශකය 1988 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.


Market Day
මේක නම් තේරෙනවනෙ? මේ කියන්නෙ, කොටස් වෙළඳපළ විවෘතව පවතින දිනයක් කියන එක.
කොටස් වෙළඳපළ විවෘතව පවතින්නෙ සතියේ දින වල, උදේ 9.30 සිට සවස 2.30 දක්වා පමණයි. සියළුම නිවාඩු දින වල කොටස් වෙළඳපළ වසනු ලබනවා.


Turnover
මේකෙන් කියන්නෙ ඒ දිනය තුළ වෙළඳාම් වූ සියළුම කොටස් වල වටිනාකමයි. මේක කරන්නෙ ඒ දිනය තුළ සිදුවූ සියළුම ගනුදෙනු වල වටිනාකම් එකට එකතු කිරීම මගින්.


Portfolio
මේක ඇවිල්ල ආයෝජන එකතුවක් කියල කියන්න පුළුවන්. (සමහරු කියනව ආයෝජන කළඹක් කියල)
Portfolio එකක් කියල කියන්නෙ යම් පුද්ගලයෙකුගේ හෝ සමාගමකට අයිතිව පවතින සියළුම ආයෝජන වල එකතුවට.
මේක තුළ, සියළුම කොටස් (විවිධ සමාගම් වෙනුවෙන් ආයෝජනය කරන ලද), සුරැකුම්පත්, බැඳුම්කර, තියෙන්න පුළුවන්.


Diversification
මේකත් කෙනෙක්ගේ portfolio එකත් එක්ක යන දෙයක්. මේ කියන්නෙ, අවදනම අඩු වෙන විදිහට, අපි කරන ආයෝජනය විවිධ අංශ හරහා පැතිරිලා යන විදිහට තියෙන්න ඕනෙ කියන එක. 
එ කියන්නෙ, කවදාවත් එකම අංශයක සමාගම් කිහිපයක කොටස් ගන්න එපා. එතකොට ඒ අංශය පසුබෑමකට ලක් උනොත් ඔයා කොට උඩ. ඒ නිසා කොටස් මිලදී ගන්නකොට Diverse Portfolio එකක් නැත්තම්, Wide Portfolio එකක් තියාගන්න, එතකොට ඔයා ගත්තු සමාගම් අයිති එක අංශයක් පසු බැස්සත් එතනින් එක අලාභය වෙනත් අංශයක සමාගමකින් ශුන්‍ය වෙලා යාවි.
ඒකෙන් ඔයා ලක්වෙන අවදානම අඩු වෙනවා.


Margin Trading
ඔන්න, මේක නම් ටිකක් අනතුරුදායක වැඩක්. මේකෙන් කියන්නෙ අපි ණයට කොටස් ගන්නව කියන එක. අපි යම් මුදලක් තැරැව්කරුවා ලඟ තැන්පත් කළාම, අපිට අවස්ථාව ලැබෙනව, ඒ මුදල වගේ දෙගුණයක මුදලකට කොටස් මිලට ගන්න, ඒ අමතර ගාණ තැරැව්කරුවාගෙන ගන්නා ණයක්. 
දින තුනක් ඇතුලත මේ ණය ගෙවිය යුතු වෙනවා, එහෙම බැරි උනොත් තවත් දින දෙකකට පසු, ඒ ණයට පොළිය එකතු වෙනවා, සහ ඔබේ තැරැව්කරුවාට අයිතිය තිබෙනව ඔබේ කොටස් විකුණල ඒ ණය පියවගන්න. කොටස් වල මිල යම් අගයකට වඩා පහත බැස්සොත් ආයෝජකයාට සිදුවනවා අනිවාර්යයෙන්ම තව මුදලක් ගිණුමට දැමීමට.
Margin Trading කියන්නෙ දෙපැත්තම කැපෙන කඩුවක් වගේ, කොටස් වල මිල ඉහළ ගියොත් ලැබෙන ලාභය දෙගුණ වෙනව, ඒ වගේම පහළ ගියොත් පාඩුවත් දෙගුණ වෙනවා. 


Normal Lots
මේක නම් කියන්නත් දෙයක් නෑ. මේ කියන්නෙ සාමාන්‍ය  වෙළඳපළ තුළ විකිණෙන කොටස්. 100 ගුණාකාර වලින් තමා විකිණෙන්නෙ. මේ කොටස් විකිණෙන මිල තමා market price එක කියල ගැනෙන්නෙ. 


Odd Lots
අර කිව්ව normal lots තියෙන්නෙ අවමය කොටස් 100යි. මොනයම්ම හරි කොටස් ප්‍රමාණයක් 100ට අඩුයි නම් ඒක සැළකෙන්නෙ Odd Lot එකක් විදිහට. මේව විකිණෙන්නෙ වෙනමමයි, වෙනමම වෙළඳපළක වගේ තමා. මේවායෙ මිල Normal Market එකට වඩා වෙනස් වෙන්න පුළුවන් හා, ඒක normal share price එකට බලපෑම් කරන්නෙ නෑ.


ඔන්න එහෙනම්, මෙ වචන ටික ටිකක් හුරු වෙන්න, මොකද මේව බහුලව භාවිතා වන වචන. ඉතින් ඒව ඉගෙනගෙන ඉන්න එක දැනීමටත් එක්කම වෙලඳපළ තත්වය ගැන හිතා ගන්නත් උදව්වක් වෙනවා.


Tuesday, June 1, 2010

Guide to CSE සඳහා නව ඩොමේනයක්




http://guidetocse.blogspot.com හා www.guidetocse.tk හරහා "Guide To CSE" සිංහල බ්ලොග් අඩවියට පිවිසි ඔබට දැන් www.guidetocse.com හරහා මෙයට පිවිසිය හැකිය.
තවත් නව සේවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ අඩවිය වටා දැන් සැළකිය යුතු සෙනඟක් එකතු වෙනවා. ඒ අයට ඉහළම සහයක් මෙම වෙබ් අඩවිය හරහා දෙන්න මගෙ බලාපොරොත්තුවක් තිබෙනව. ඒ දේ වලට සහය දෙන්න පුළුවන් අය ඉන්නව නම් කරුණාකරල මට දන්වන්න. මේ අඩවිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මටඔබගේ සහයත් ඉතා වැදගත්.



ඉදිරියේදී තවත් නව සේවා ලබා දීමට බලාපොරොත්තු වෙමු.


දිගටම අප සමඟ රැඳී සිටිමින් මෙහි ක්‍රියාකාරිත්වයට සහය වන ලෙස ඉල්ලා සිටින අතරම ඔබේ දැනුම දියුණු කරගනිමින් තමුන්ගේම ආදායම් මාර්ගයක් කොටස් වෙළඳපළ තුළ සකසා ගනිමින් ඉහළ ලාභ ලැබීමට සුභ පැතුම්...


 

Guide to CSE Copyright © 2010 | All Rights Reserved.